Posts Tagged ‘රසික හවුල’


හොස්ටල් එකේ උඩ තට්ටුවේ දකුණු කෙළවරේම තිබ්බෙ 11 වසරෙ කට්ටියගෙ ඩෝම් එක.ඊට මෙහායින් 10 වසරෙ කස්ටිය.

ඔය හැම ඩෝම් එකක් ඉස්සරහින් දිගටම කොරිඩෝ එක තියෙනවා.

ඒ ඒ ඩෝම් එකට අදාල පොදු කණ්ණාඩිය තියෙන්නෙ මේ කොරිඩෝ එක තියෙන කණුවකට හයිකරලා.

මේ කියන සිද්ධිය වෙද්දි රම්බා 10 වසරෙ.

දහය වසර කියන්නෙ ඩිංගක් කරදඩු උස් මහත් වෙලා උගුරු ඇටේ එලියට පෙනිලා එහෙම මදන විසේ ගහලා ඉන්න කාලෙනෙ..

ඔය දවස්වල 11 වසරෙ හිටියා අයියලා 3 න් දෙනෙක් හවසට හවසට යකඩ එක්ක හැප්පිලා ඇඟ මහත්කරගන්න දඟලපු.

ටික කාලයක් මෙහෙම ගියපු කට්ටියගෙ යන්තම් පොඩ්ඩක් මස් පිම්බිලා ආවම කස්ටිය බොරු පඩ ශෝ එකක් දාන්න පටන් ගත්තා ඔය කියපු කණ්නාඩිය ඉස්සරහට වෙලා.

හවස 4,5 වෙනකොට මුන් 3න් දෙනාම ඇඟවල් වල තෙල් උලාගෙන කණ්ණාඩිය ඉස්සරහට ඇවිල්ලා එක එක විදියට ඇඟ පෙන්නන පටන් ගන්නවා.

හරියට නිකන් අපි සල්ලි නොගෙවා අයෝමය පුරුෂයා තරඟයක් බැලුවා වගේ.

මේව බලලා කාල ඇඳල ඉන්න පුලුවන් වයසක නෙවීනෙ අපි උන්නේ.

ඊළඟ රසික හවුලෙදි සුපිරි වැඩක් දෙන්න ප්ලෑන් කරා.

මේකටම හරියන සුපිරි පොරක් හිටියා.නම නුවන්.ගම අනුරාධපුරේ කියලා කියමුකෝ.පොරගෙ ඒ දවස්වල පුදුම දක්ෂකමක් තිබ්බා ඔය උරහිස පිටිපස්සෙ තියෙන කෑල්ල(උරපත්ත) එළියට පුම්බලා පෙන්නන්න.. ආයේ ඉතින් කියලා වැඩක් නෑ සෝමාලියා එවුන් පරාදයි එයාකාරයට උගෙ කටු බොඩිය පන්නලා ගත්තම.

මේ දවස් වෙද්දි ඔය රසික හව්ල දියුණු වෙලා මුලින් වගේ කෑම කාමරවල නෙවි තිබුනෙ.කුළරත්න හෝල් එකේ තමා තිබුනෙ.

ඒ තීරණාත්මක දවස උදාවුනා.රම්බා සහ මීයා තමා මේ අංගයේ නිවේදන කටයුතු.නුවන් අපේ කටු බොඩි අයෝමය පුරුෂයා.නියමාකාරයට උගේ ඇගේ තෙල් උලලා ස්ටේජ් එකට නග්ගලා දුන්නා සුපිරි වැඩක් මුලු හොස්ටල් එකටම උඩින් යටින් නහයෙන් කටින් හැමතැනෙන්ම හිනාවෙන්න.අවාසනාවකට ඒ කාලේ පොටෝ ඇල්ලිල්ලක් නැති නිසා ඒ මතකයන් හිත්වල විතරක් ඉතුරුවෙලා.

මෙහෙම ගේම දීපු කට්ටියම ඩෝම් එකට ඇවිත් නිදාගත්තා.

ටික්කින් ඇහෙනටා දෆ්ඩ බඩාං අයියෝ බුදු අම්මෝ ගහන්න එපෝ එකී නොකී මෙකී සද්ද.

බැලින්නම් මෙන්න 11 වසරෙ උන් පැනලා නුවනයයි මීයටයි විතරක් නෙවී අපේ ඔක්කොමට පෙරළගෙන ගහනවා.

මම විතරක් යන්තම් ගැලවුනා මොකද මට ගහන්න ආපු 11 එකා මාත් එක්ක එකට කරාටේ ප්‍රෑක්ටිස් කරණ නිසා අපි දෙන්න හොරෙන්ම සාම ගිවිසුමක් ගහගත්තා.

මේ වෙනකොට ජනේලෙන් පිටට පැනලා අපිට ගහනවා කියන පණිවිඩය වොර්ඩ්න් වෙත ගෙනගිය(10ක් විතර අල්ලගන්න පස්සෙන් එළවද්දි ) රසිකයා නිසා යන්තම් කට්ටියම අතක් පයක් කඩා නොගෙන ගුටි කෑමෙන් පමණක් සෑහීමකට පත්වුනා.

හොඳම කෑල්ල වුනේ අපි හීනෙකින්වත් අනුමාන නොකරපු දෙයක් 11 වසරෙ එකෙක්ගෙ කටින් මෙහෙම පිටවුන එක.

අඩෝ තොපි තුන් දෙනක් ස්ටේජ් එකට නැග්ගේ අපි තුන් දෙනාට කින්ඩියට නේද යකෝව්…..

එතකොටයි අපිට ඒක මතක්වුනේ.අපිට අරුගෙ කටු බොඩිය විතරක් පෙන්නන ඕනි වුනාට නොදැනීම අපි 3න් දෙනෙකුත් වැඩේට බැහැලා.

Advertisements

රසික හවුල කියන්නෙ හොස්ටල් එකේ උන්න ලොකු පොඩි ඕනි කෙනෙක්ට තමන්ගෙ කලා හැකියාව පෙන්නන තිබුනු තෝතැන්නක්.ස්කෝලෙ පන්ති මට්ටමින් කෙරෙන සමිතියේ තිබුන මූණුවරම තමා මේකෙත් තිබුනේ.

හැබැයි හොස්ටල් එකේ ඉන්න හැමෝගෙම සහභාගීත්වය අනිවාර්ය නිසා සෑහෙන්න පිරිසක් රසික හවුල බලන්න සෙට් වෙනවා.

මේ කියන්න යන සිද්ධිය වුනේ රම්බා 6 වසරෙ ඉන්නකොට..

ඔන්න හා හා පුරා කියලා රම්බත් ලෑස්ති වුනා ඊළඟ රසික හවුලෙ අංගයකට සහභාගී වෙන්න. ආයෙ ඉතින් උපතින් ගෙනාපු මෙලෝ කලා හැකියාවක් නැති මට සහභාගී වෙන්න තිබුන එකම අංගය සින්දුවක් ගායනා කිරීම තමයි.

මේ දවස්වල තමයි ඔය ප්‍රියා හොඳටම හිට් වෙලා වුන්නු කාලේ.ප්‍රියා කීවෙ බොලව් ප්‍රියා සූරියසේන ආයෙ අහවල් එකක් නෙවී හරිය…

රම්බගෙත් ඉතින් තියෙන කුපාඩි කමට පොඩි එකා වුනාට මොකද තෝරගත්තෙ “හදවත ඉල්ලා” සිංදුව.

ඔන්න හැමෝම පුල පුලා බලා සිටි ඒ සුන්දර දවස උදාවුනා.රසික හවුලත් සුපුරුදු විදියටම ගලාගෙන ගියා…

ඔන්න මගෙ වාරෙ ආවා…

මීළඟට 6 වසරෙන් රම්බා………..

මම ගියා කස්ටිය ඉස්සරහට.

සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි.

කමින්ග් කෑල්ලත් ඔන්න ඔහොම කියලා දැම්මා..

“හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී”

ඩෙනිම් එකේ සාක්කු දෙකට අත් දෙකත් ඔබාන කොල්ලා ෆුල් ආතල් එකේ කියාගෙන යනවා.

මට දැන් පේනවා ඉස්සරහම ඉන්න අපේ කස්ටිය එක එක හස්ත මුද්‍රා පෙන්නනවා.මමත් ඔලුවෙන් මොනාද මොනාද අහන ගමන් පැද්දි පැද්දි සිංදුව කියනවා..

ඔහොම කියාගෙන යනකොට මට පේනවා කස්ටිය හිනාවෙනවා කොහෙද මම සැලෙයිද ඕවට මම දිගටම සින්දුවේ.

අපේ වුන්ගෙ කටවල් ඇඳ වෙලා හස්ත මුද්‍රා නැවතිලා නිකන් අළු කෙහෙල් කාපු උඟුඩුවෝ වගේ වෙලා උන්ට..

කොහොමින් කොහොම හරි ඔහොම මම සින්දුව කියලා ගිහින් වාඩි වුනා කියමුකෝ.අපේ උන් බනිනවා පිස්සුද යකෝ තොට ඔහොම නට නට සින්දු කියන්න.විලිලැජ්ජාවයි යකෝ කිය කිය.

මම තක්බීර්..පිස්සුද බන් මම කොහෙද නැටුවෙ අර පොඩ්ඩක් ඉතින් දන්නැද්ද සීන් එකට කියලා කිව්වා..

රසික හවුල අවසානේ තියෙනවා ගුරු දේශණයක්.

එදා මාතෘකාව ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..

තමන්ගෙ වයසට ගැලපෙන සින්දු තෝරගන්න ඕනි ළමයි.මෙතන ළමයින්ගෙ දක්ෂතා පෙන්නන තියෙන තැනක් මිසක් කෝළම් මඩුවක් නොවේ… එකී නොකී මේකී දොස් පරොස් පමණක් සහ රම්භාගේ නැටුමට සහ සිංදුවට හිමි රසික ජනතාවගේ සමච්චලයත් සමඟින් රම්බාගේ ප්‍රථම හොස්ටල් කරළිය ඉවරවුනා..

මෙන්න මෙහෙම කිසිම හාවක් හූවක් නැතුව ටික දවසක් ගෙවිලා ගියා..

දවසක් රෑක රම්බා පාඩම් කරන්න යනකොට කව්දෝ කථාකරා.

ඕයි මෙහෙ එනවා මෙහෙ එනවා.

බැලින්නම් මේ පුස්ථකාලෙ පාඩම් කරන 11 වසරෙ අයියලා සෙට් එකක්.

මාත් ගියා පුස්ථකාලෙට.

හා කියනවා බලන්න සින්දුවක්.අර එදා කියපු එක කියනවා..

රම්බට දැන් නිකන් මොකක්ද වගේ.කොහෙදෝ මන්ද තිබ්බ ලැජ්ජාවත් ටිකක් ඇඟට ආවා වගේ.

අනේ අයියේ…

අනේ හුනේ ගාන්නැතුව කියපිය යකෝ..

බයවුන රම්බා ඔන්න සින්දුව දිග ඇරියා…

“හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී”

කෝ කෝ නටපිය එදා වගේ.නටපිය..

රම්බාත් ඉතින් ඔන්න නට නට සින්දුව කීවා..

කියලා ඉවරවෙලා අහිංසක බැල්මෙන් අයියලා දෙහා බැලුවා මුන්ට අනුකම්පා හිතිලවත් මට යන්න දෙයිද කියලා..

තමුසෙට පිස්සුද ඕයි මේ මහ රෑ පුස්ථකාලෙට ඇවිල්ලා පාඩම් කරන වුන්ට පාඩම් කරගන්න නොදී සිංදු කියන්නෙ.දුවපිය යන්න මෙතනින්…

රවාගෙන බලාගෙන උන්නු එකෙක් කෑ ගැහුවා.

උගෙ @!$#%^@$@#

ප.ලි : රම්බා කරළියට තවත් කොටසකින් හම්බෙමු.