Archive for the ‘රම්බා’ගේ කතා’ Category


හොස්ටල් එකේ උඩ තට්ටුවේ දකුණු කෙළවරේම තිබ්බෙ 11 වසරෙ කට්ටියගෙ ඩෝම් එක.ඊට මෙහායින් 10 වසරෙ කස්ටිය.

ඔය හැම ඩෝම් එකක් ඉස්සරහින් දිගටම කොරිඩෝ එක තියෙනවා.

ඒ ඒ ඩෝම් එකට අදාල පොදු කණ්ණාඩිය තියෙන්නෙ මේ කොරිඩෝ එක තියෙන කණුවකට හයිකරලා.

මේ කියන සිද්ධිය වෙද්දි රම්බා 10 වසරෙ.

දහය වසර කියන්නෙ ඩිංගක් කරදඩු උස් මහත් වෙලා උගුරු ඇටේ එලියට පෙනිලා එහෙම මදන විසේ ගහලා ඉන්න කාලෙනෙ..

ඔය දවස්වල 11 වසරෙ හිටියා අයියලා 3 න් දෙනෙක් හවසට හවසට යකඩ එක්ක හැප්පිලා ඇඟ මහත්කරගන්න දඟලපු.

ටික කාලයක් මෙහෙම ගියපු කට්ටියගෙ යන්තම් පොඩ්ඩක් මස් පිම්බිලා ආවම කස්ටිය බොරු පඩ ශෝ එකක් දාන්න පටන් ගත්තා ඔය කියපු කණ්නාඩිය ඉස්සරහට වෙලා.

හවස 4,5 වෙනකොට මුන් 3න් දෙනාම ඇඟවල් වල තෙල් උලාගෙන කණ්ණාඩිය ඉස්සරහට ඇවිල්ලා එක එක විදියට ඇඟ පෙන්නන පටන් ගන්නවා.

හරියට නිකන් අපි සල්ලි නොගෙවා අයෝමය පුරුෂයා තරඟයක් බැලුවා වගේ.

මේව බලලා කාල ඇඳල ඉන්න පුලුවන් වයසක නෙවීනෙ අපි උන්නේ.

ඊළඟ රසික හවුලෙදි සුපිරි වැඩක් දෙන්න ප්ලෑන් කරා.

මේකටම හරියන සුපිරි පොරක් හිටියා.නම නුවන්.ගම අනුරාධපුරේ කියලා කියමුකෝ.පොරගෙ ඒ දවස්වල පුදුම දක්ෂකමක් තිබ්බා ඔය උරහිස පිටිපස්සෙ තියෙන කෑල්ල(උරපත්ත) එළියට පුම්බලා පෙන්නන්න.. ආයේ ඉතින් කියලා වැඩක් නෑ සෝමාලියා එවුන් පරාදයි එයාකාරයට උගෙ කටු බොඩිය පන්නලා ගත්තම.

මේ දවස් වෙද්දි ඔය රසික හව්ල දියුණු වෙලා මුලින් වගේ කෑම කාමරවල නෙවි තිබුනෙ.කුළරත්න හෝල් එකේ තමා තිබුනෙ.

ඒ තීරණාත්මක දවස උදාවුනා.රම්බා සහ මීයා තමා මේ අංගයේ නිවේදන කටයුතු.නුවන් අපේ කටු බොඩි අයෝමය පුරුෂයා.නියමාකාරයට උගේ ඇගේ තෙල් උලලා ස්ටේජ් එකට නග්ගලා දුන්නා සුපිරි වැඩක් මුලු හොස්ටල් එකටම උඩින් යටින් නහයෙන් කටින් හැමතැනෙන්ම හිනාවෙන්න.අවාසනාවකට ඒ කාලේ පොටෝ ඇල්ලිල්ලක් නැති නිසා ඒ මතකයන් හිත්වල විතරක් ඉතුරුවෙලා.

මෙහෙම ගේම දීපු කට්ටියම ඩෝම් එකට ඇවිත් නිදාගත්තා.

ටික්කින් ඇහෙනටා දෆ්ඩ බඩාං අයියෝ බුදු අම්මෝ ගහන්න එපෝ එකී නොකී මෙකී සද්ද.

බැලින්නම් මෙන්න 11 වසරෙ උන් පැනලා නුවනයයි මීයටයි විතරක් නෙවී අපේ ඔක්කොමට පෙරළගෙන ගහනවා.

මම විතරක් යන්තම් ගැලවුනා මොකද මට ගහන්න ආපු 11 එකා මාත් එක්ක එකට කරාටේ ප්‍රෑක්ටිස් කරණ නිසා අපි දෙන්න හොරෙන්ම සාම ගිවිසුමක් ගහගත්තා.

මේ වෙනකොට ජනේලෙන් පිටට පැනලා අපිට ගහනවා කියන පණිවිඩය වොර්ඩ්න් වෙත ගෙනගිය(10ක් විතර අල්ලගන්න පස්සෙන් එළවද්දි ) රසිකයා නිසා යන්තම් කට්ටියම අතක් පයක් කඩා නොගෙන ගුටි කෑමෙන් පමණක් සෑහීමකට පත්වුනා.

හොඳම කෑල්ල වුනේ අපි හීනෙකින්වත් අනුමාන නොකරපු දෙයක් 11 වසරෙ එකෙක්ගෙ කටින් මෙහෙම පිටවුන එක.

අඩෝ තොපි තුන් දෙනක් ස්ටේජ් එකට නැග්ගේ අපි තුන් දෙනාට කින්ඩියට නේද යකෝව්…..

එතකොටයි අපිට ඒක මතක්වුනේ.අපිට අරුගෙ කටු බොඩිය විතරක් පෙන්නන ඕනි වුනාට නොදැනීම අපි 3න් දෙනෙකුත් වැඩේට බැහැලා.

රසික හවුල කියන්නෙ හොස්ටල් එකේ උන්න ලොකු පොඩි ඕනි කෙනෙක්ට තමන්ගෙ කලා හැකියාව පෙන්නන තිබුනු තෝතැන්නක්.ස්කෝලෙ පන්ති මට්ටමින් කෙරෙන සමිතියේ තිබුන මූණුවරම තමා මේකෙත් තිබුනේ.

හැබැයි හොස්ටල් එකේ ඉන්න හැමෝගෙම සහභාගීත්වය අනිවාර්ය නිසා සෑහෙන්න පිරිසක් රසික හවුල බලන්න සෙට් වෙනවා.

මේ කියන්න යන සිද්ධිය වුනේ රම්බා 6 වසරෙ ඉන්නකොට..

ඔන්න හා හා පුරා කියලා රම්බත් ලෑස්ති වුනා ඊළඟ රසික හවුලෙ අංගයකට සහභාගී වෙන්න. ආයෙ ඉතින් උපතින් ගෙනාපු මෙලෝ කලා හැකියාවක් නැති මට සහභාගී වෙන්න තිබුන එකම අංගය සින්දුවක් ගායනා කිරීම තමයි.

මේ දවස්වල තමයි ඔය ප්‍රියා හොඳටම හිට් වෙලා වුන්නු කාලේ.ප්‍රියා කීවෙ බොලව් ප්‍රියා සූරියසේන ආයෙ අහවල් එකක් නෙවී හරිය…

රම්බගෙත් ඉතින් තියෙන කුපාඩි කමට පොඩි එකා වුනාට මොකද තෝරගත්තෙ “හදවත ඉල්ලා” සිංදුව.

ඔන්න හැමෝම පුල පුලා බලා සිටි ඒ සුන්දර දවස උදාවුනා.රසික හවුලත් සුපුරුදු විදියටම ගලාගෙන ගියා…

ඔන්න මගෙ වාරෙ ආවා…

මීළඟට 6 වසරෙන් රම්බා………..

මම ගියා කස්ටිය ඉස්සරහට.

සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි.

කමින්ග් කෑල්ලත් ඔන්න ඔහොම කියලා දැම්මා..

“හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී”

ඩෙනිම් එකේ සාක්කු දෙකට අත් දෙකත් ඔබාන කොල්ලා ෆුල් ආතල් එකේ කියාගෙන යනවා.

මට දැන් පේනවා ඉස්සරහම ඉන්න අපේ කස්ටිය එක එක හස්ත මුද්‍රා පෙන්නනවා.මමත් ඔලුවෙන් මොනාද මොනාද අහන ගමන් පැද්දි පැද්දි සිංදුව කියනවා..

ඔහොම කියාගෙන යනකොට මට පේනවා කස්ටිය හිනාවෙනවා කොහෙද මම සැලෙයිද ඕවට මම දිගටම සින්දුවේ.

අපේ වුන්ගෙ කටවල් ඇඳ වෙලා හස්ත මුද්‍රා නැවතිලා නිකන් අළු කෙහෙල් කාපු උඟුඩුවෝ වගේ වෙලා උන්ට..

කොහොමින් කොහොම හරි ඔහොම මම සින්දුව කියලා ගිහින් වාඩි වුනා කියමුකෝ.අපේ උන් බනිනවා පිස්සුද යකෝ තොට ඔහොම නට නට සින්දු කියන්න.විලිලැජ්ජාවයි යකෝ කිය කිය.

මම තක්බීර්..පිස්සුද බන් මම කොහෙද නැටුවෙ අර පොඩ්ඩක් ඉතින් දන්නැද්ද සීන් එකට කියලා කිව්වා..

රසික හවුල අවසානේ තියෙනවා ගුරු දේශණයක්.

එදා මාතෘකාව ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..

තමන්ගෙ වයසට ගැලපෙන සින්දු තෝරගන්න ඕනි ළමයි.මෙතන ළමයින්ගෙ දක්ෂතා පෙන්නන තියෙන තැනක් මිසක් කෝළම් මඩුවක් නොවේ… එකී නොකී මේකී දොස් පරොස් පමණක් සහ රම්භාගේ නැටුමට සහ සිංදුවට හිමි රසික ජනතාවගේ සමච්චලයත් සමඟින් රම්බාගේ ප්‍රථම හොස්ටල් කරළිය ඉවරවුනා..

මෙන්න මෙහෙම කිසිම හාවක් හූවක් නැතුව ටික දවසක් ගෙවිලා ගියා..

දවසක් රෑක රම්බා පාඩම් කරන්න යනකොට කව්දෝ කථාකරා.

ඕයි මෙහෙ එනවා මෙහෙ එනවා.

බැලින්නම් මේ පුස්ථකාලෙ පාඩම් කරන 11 වසරෙ අයියලා සෙට් එකක්.

මාත් ගියා පුස්ථකාලෙට.

හා කියනවා බලන්න සින්දුවක්.අර එදා කියපු එක කියනවා..

රම්බට දැන් නිකන් මොකක්ද වගේ.කොහෙදෝ මන්ද තිබ්බ ලැජ්ජාවත් ටිකක් ඇඟට ආවා වගේ.

අනේ අයියේ…

අනේ හුනේ ගාන්නැතුව කියපිය යකෝ..

බයවුන රම්බා ඔන්න සින්දුව දිග ඇරියා…

“හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී”

කෝ කෝ නටපිය එදා වගේ.නටපිය..

රම්බාත් ඉතින් ඔන්න නට නට සින්දුව කීවා..

කියලා ඉවරවෙලා අහිංසක බැල්මෙන් අයියලා දෙහා බැලුවා මුන්ට අනුකම්පා හිතිලවත් මට යන්න දෙයිද කියලා..

තමුසෙට පිස්සුද ඕයි මේ මහ රෑ පුස්ථකාලෙට ඇවිල්ලා පාඩම් කරන වුන්ට පාඩම් කරගන්න නොදී සිංදු කියන්නෙ.දුවපිය යන්න මෙතනින්…

රවාගෙන බලාගෙන උන්නු එකෙක් කෑ ගැහුවා.

උගෙ @!$#%^@$@#

ප.ලි : රම්බා කරළියට තවත් කොටසකින් හම්බෙමු.

හොස්ටල් එකට ඇතුල්වෙන තැනම දකුණු පැත්තට වෙන්න තිබ්බේ කොමඩ් රූම් එක..කොමඩ් රූම් එක කියලා නොදන්නකමට කීවට ඒකෙ ඇත්ත නම කොමන් රූම් එක කියලා තමයි තියෙන්නෙ.

මේක තමා හොස්ටල් එකටම තිබ්බ පොඩිම ඩෝම් එක.ඒ හින්දමද මන්ද ඒකට රූම් කියනව මිසක් ඩෝම් කියනව මටනම් කවදාවත් ඇහිලා නෑ.

සාමාන්‍යයෙන් මේකට වැටෙන්න 7 වසරට වගේ එනකම් ඉන්න වෙනවා.ඒත් සමහර වෙලාවල්වලදි 6 වසරට එන කස්ටිය වැඩි වුනොත් 6 වසරෙ කට්ටියටත් මේකෙ ඉන්න චාන්ස් එකක් හම්බෙනවා.

වම් පැත්තට වෙන්න තිබ්බෙ ඩයිනින් හෝල් එක හෙවත් කෑම කාමරේ.මේකෙ සාමාන්‍යයෙන් ගේමක් නැතුව 100කට 150කට කන්න පුළුවන්.මේ වගේ තවත් ඩයිනින් හෝල් එකක් තවත් වම් පැත්තට වෙන්න තියෙනවා.ඩයිනින් හෝල් වුනත් මේවා මල්ටි පර්පස් විදියට භාවිතා කරලා පාඩම් කරන්න එහෙමත් පාවිච්චි කරනවා.

සාමාන්‍යයෙන් දැන් හිතෙන්නෙ මේවා දකිනකොට මතක් වෙන්නෙ කන එක හරි පාඩම් කරන එක හරි කියලා නේද?

හෙ හෙ එහෙම හිතුනනම් සම්පූර්ණයෙන්ම වැරදියි.මොකද මතක් වෙන්නෙ කෑම කකා ඉන්නකොට කකුල දිගේ උණුවට වැක්කෙරෙන්න සුලුදිය පහකරපු පල් බළල් හැත්ත..උන් හුජ්ජ කරනවා මදිවට ඊට පස්සෙ වෙව්ලා තමා නවතින්නෙ.මේ වෙලාවට තමා උන්ගෙ හත්මුතු පරම්පරාවම මතක් වෙන්නෙ.මොකද කෑම කනකොට හිතු මතේ නැගිටලා යන්න කාටවත් බෑ.

ඒ යනවනම් ඉන්න ශිෂ්‍ය නායකයෙකුට කියන්නෝනි.ඔය සෙනඟක් ඉස්සරහ බලලෙක් කකුලට හුජ්ජ කරා කියන්න තියෙන ලැජ්ජාවට හැමෝම ඉවසන් ඉන්නවා.හෝදගන්නෙ කෑමෙන් පස්සෙ.

කොහොමින් හරි එතකොට අපි උන්නෙ 7 වසරෙ.කොමඩ් රූම් එකේ හිටියෙත් අපේම සෙට් එකේ කට්ටියක්.

සිද්දිය වුනේ රෑක.හවස 8ක විතර ඇති.කට්ටියම ලයිට් එහෙම ඕෆ් කරලා දාලා හොඳට නැගලා යන සිංදුවක් කියන්න සෙට් වුනා.මෙන්න මෙහෙම සෙට් වෙලා ආතල් එක උපරිමේටම ආපු වෙලාවට ආපි හොස්ටල් එකේ වෝඩන්.පොර ඇවිත් ලයිට් දැම්මා විතරයි සී සී කඩ දුවපු උන් ඇඳවල් වල නිදි.ආයේ මිනිහට බොරු කරන්න බෑ කොනක ඉඳන් පටන් ගත්තා වේවැල් සබ්බුව.

ඇඳවල්වල නිදන් හිටන් උන්න එවුන්ට පවා පහර දීගෙන පැමිණි පොර වට්ටන්න අපේ බුරියට පුළුවන් වුනා.මූ පොතක් කියවනවා ඒ අල්ල පනල්ලෙ.නෑ සර් මම මේ පාඩම් කරා ඌ කියපි.මූ අතෑරපු වෝඩන් අපිට නෙලලා ගියා,ඒත් අපි හැමොටම මීටර් වුනාට සර්ට මීටර් වුනේ නෑ මූ කළුවරේ පාඩම් කරලා තියෙන්නෙ කියලා.හෙක් හෙක්.

හරි පඳුර තලලා ආවෙ ඊළඟ කථාවට.ඔය කලින් කියපු ඩයිනින් හෝල් එක පිටිපස්සෙ තිබුනා පාඩම් කරන්න හදලා තිබ්බ පොඩි කාමර කෑල්ලක්.

එක දවසක් අපි ඕකෙ පාඩම්.ඒ වුනාට ඇතුල් වෙන තැනම හෙන සයිස් බලු බෙට්ටක්.අපිත් ඉතින් මෙලෝ සංසාරයක් දන්නෙ නෑ වගේ පාඩම් කරණවා.

ඔහොම පාඩම් කරගෙන යනකොට ආවා එතනට අපේ ශිෂ්‍ය නායකතුමෙක් ඉවක් බවක් නැතුව විදලා ආපු පොර නැවතුනේ අර බලු ජරාව පාගමින්..

ඉහවහා ගිය කෙන්තියෙන් ඉල්ප ගිය ඔහු විසින් බෙරිහන් දුන්නේ

මම ආයෙම එන්න කලින් මේක අයින් කරලා තියපියව් නැත්තම් ඔක්කෝම කනවා කියාය.

අපි වහාම ක්‍රියාත්මක වෙලා අර සනීපාරක්ෂක කම්කරුවෙකුට කියලා සුද්ද කරලා දැම්මේ මොනා වුනත් එහෙම ශිෂ්‍ය නායකයෙකුට බලු බෙට්ටක් කන්න දෙන්න හිත හදාගන්න බැරි නිසා.හෙ හෙ..

සිකුරාදා රෑ වැඩ ඉවරවුනේ හරියටම 10.30.ඒත් මේ සති අන්ත්වල තියෙන රිලීස් එකක වැඩක් යෙදිලා තියෙන නිසා ආයෙම උදේ 2.30ට වැඩ පටන් ගන්න තිබ්බා.ඔය කාලෙත් ඔෆීසියටම වෙලා ගෙවලා දාන්න මගෙ තියෙන අකමැත්ත හින්දා රෑ ගියා බෝඩිමට.යනකොට මෙන්න කස්ටියම බෝතලයකුත් තියාගෙන සෙට් වෙලා ඉන්නවා.

ගෙදර යනකොට වෙලාව 11යි.ආයෙම ගෙදරින් එන්න තිබ්බෙ 1 ට.මේ වගේ වෙලාවක ඒ පැය දෙකේ ගන්න ආතල් එකට සම්බන්ධ නොවෙන එකා මොකාද.මාත් වාඩිවෙලා හීනියට ගත්ත පොඩ්ඩක් ආයෙම වැඩට එන්නත් තියෙන නිසා.ඔය අතරෙ බස් කොන්දස්තරලා ගැන කථාවක් ඇදිලා ගියා.මරුම කථා වගයක් අහන්න හම්බුනා.

මුලින්ම පටන් ගත්තෙ එකෙකුට සිද්ධ වුන අසාධාරණයක් එක්ක.හැබැයි කොන්දාගෙන්නම් නෙවෙයි මේ අපි වගෙම බස් වල යන කෙනෙක්ගෙන්ම.

මූ කීවෙ මෙහෙමයි…

ඒ යකා මචං සීට් එක පුරා වාඩිවෙලා මට අයිනෙ පොඩි ඉඩක් තමා ඉතුරු වෙලා තිබ්බෙ.මම වාඩිවෙනකම් ඉස්සරහට වෙලා හිටපු පොර මම සීට් එකේ හේත්තු වෙනවා දැකලා හොඳට සීට් එකේ හේත්තු වෙලා උරහිස ගස්සලා මාව පැත්තකට තල්ලු කරා.මමත් ආයෙ ඉතින් අතෑරියේ නෑ ගේම.ඒ මදිවට මේ යකා කකුල් දෙකත් පළල් කරන් මහාකෝණයක් හදාගෙන.මට මාරයා.මට දැන් පේනවා හිතෙන් මූට දෙකක් අනින හැටි…

ඔන්න ඔහොමයි සීන් එක වෙලා තියෙන්නෙ.කොහොමින් කොහොම හරි බස් එකෙන් බහිනකම් මූ ඇවිත් තියෙන්නෙ මල පැනලා…

මේ අතරෙදි තමා ඔන්න ඔය වෙනා සීන් එකට කරන්න පුළුවන් හොඳම විකල්පය ඉදිරිපත් කරේ තව පොරක්.

ඔය වෙලාවට කරන්නෝනි මචං කොන්දා එනවනෙ ටිකට් එකක් දෙන්න.ඉල්ලපන් භාගෙ එකක්.මේ මට දෙන්න භාගෙ ටිකට් එකක් කියලා.කොන්දත් අන්දොස් වෙනවනෙ මෙහෙම වුනාම.ඌ අහපුවාම කියපන් මේ බලනවකො මේ මිනිහා සීට් එකේ තුන් කාලක වාඩිවෙලා මම කොහොමද යන්නෙ.මට දෙනවා භාගයක් කියලා.

ඇත්තටම මේ සීන් එක තමා ඔය වගේ අවස්ථාවලදි කොරන්න පුළුවන් හොඳම දේ කියලා හිතුනා මටත්.ඕනි කෙනෙකුට කරලා බලලා කියන්න පුලුවනි මොකෝ වුනේ කියලා.

ඒ අස්සෙ එකෙක් කියපි

පත්තරේ මරු සීන් එකක් තිබ්බා බං.සුවර් එකටම 177ක හරි 175 ක හරි සීන් එකක්.බස් ගාස්තු වැඩීවුන අලුත කොහොම හරි ගෑණියෙක් දීලා තියෙන්නෙ 16 ටිකට් එකට 12ක් ලු.කොන්දම මේකට මල පැනලා ඌ ගෑණිත් එක්ක ගේම ඉල්ලලා.ගෑණි කියනවලු මේ ගාණ තමා හැමදාම දෙන්නෙ.ආයේ මේකට විතරක් මොකටද වැඩිපුර දෙන්නෙ එහෙම කියලා.කොහොම හරි මේ ගේම ඉවරවෙලා නෑ ටවුන් හෝල් එනකනුත්.

බස් එකේ ඩ්‍රයිවර් කාරයා ඉඳලා තියෙන්නෙ සුපිරි පොරක්.මූට මල පැනල නස්තාර් වෙන්න.

මූ බස් එක නවත්තලා ඇවිත් දෙන්නටම බැනලා.

මොනාද ඕයි තමුසෙ මේ රුපියල් හතරකට මෙතන පැය ගානක් කියවන්නෙ.දෙන ගාණක් අරන් ඉන්නවකො තමුසෙටත් ඕනි නැති මඟුලක් නෑ මෙතන කියලා කොන්දට බැනලා

මේ නෝනත් මෙතන හරියට ගාණ දැනගෙන ආවනම් ඉවරයිනෙ රුපියල් හතරකට මෙතන මරාගන්න හදන්නෙ.වැදගත් මිනිස්සු නේද කියලා

දෙන්නටම බැනලා ගිහින් පාඩුවේ එළවගෙන ගියාලු.අර ඩබලම මීක් නැතුව ගියාලු ඊට පස්සෙ.

අනිත් සීන් එක වෙන්නෙ පොළොන්නරුව කොළඹ බස් එකකලු..
හික් හික්…

මේ කියන කොන්දා සාමාන්‍යයෙන් අපි මේ කථා කරණ අයට වඩා වෙනස්ලු.මේ පැත්තෙ බස්වල ඉතින් සාමාන්‍යයෙන් යන්නෙ ටිකක් අදුරණ කට්ටියනෙ.කොන්දා බස් එකේ මිනිස්සු පැක් කරණ්නෙ මෙහෙමලු.

අයියෝ මේ දන්න කියන කට්ටිය නේද මොකද මේ ඈත් වෙලා යන්නෙ.ඔය මල්ලිලා එහෙම නන්ගිලාට ටිකක් කිට්ටු වෙලා යන්නකො.ආයෙ අදුරන්න්නැති උදවිය වගේනෙ…

ඔන්න ඔහොම තමා මිනිහා පැක් කරණවා කියන්නෙ.හැබැයි වැඩේ කියන්නේ මිනිස්සු කාටවත් කේන්ති යන්නෙ නෑ වගේම හැමෝම පොරත් එක්ක හිනාවෙලා ඉන්නවලු.

ඒ වගෙම ගොඩක් කෙනෙක්ට කොන්දලා එක්ක මල පනින්න හේතුවත් මෙහෙම පැක් කරලා ඒ මදිවල ඒක අස්සෙ ටිකට් කඩන්න එන එකටලු.හික් හික්…ඒ මදිවට කොන්දා හේත්තු වෙන්නෙත් යන මිනිහෙක්ගෙම ඇඟක වීම මේ මල දෙගුණ කරනවලු..

ඒ අස්සෙ තව මරු කොන්දා කෙනෙක් ඉන්නවලු 120 බස් පාරෙ.පොරට කේන්ති යනවලු හොඳටම.මිනිස්සුන්ට පස්සට යන්න කියලා කෑ ගහන්නෙ දිව එළියට දාගෙන විකාගෙනලු.

පස්සෙ බැලින්නම් මේ පොර තාවකාලික කොන්දෙක්ලු..පොරට ගතමන්ට් එක හම්බෙන්නෙ මිනිස්සු ගාණ වැඩිවෙනකොට නිසා මිනිහට මල පනිනවලු මිනිස්සු හරියට පැක් වුනේ නැත්තම්..

පිංතූර හම්බුනේ…
movies.sulekha.com
english-speaking-zone.blogspot.com

අපෝ අදනම් මහම මහ මුඩු කාළකණිනි දවසක්…

උදේ පාන්දර ඉදන්ම බඩේ තුබූ වේදනාව ඔෆීසියේදී කුරු කුරුවක් බවට හැරුනේ දහ අතේ දුවන හිත බඩටම යොමුකරවමිනි.

උදේ පාන්දර මේසය මත තිබූ ෆයිල් මිටිය තාමත් එහෙමම මේසය කොනේමය..

කිසිම වැඩක් පලක් කර ගැනීමට ඇඟට පණ ඇති ගතියක්නම් නොදැනේ…

හපෝ මේකනම් මහ කරුම බඩේ අමාරුවක්..

ආයෙමත් සැරයක් ශරීර කෘතය සඳහා දිව ගිය ඔහු නැවත පැමිණියේ මරන්න ගෙනියන හරකෙක් මෙනි.

තවදුරටත් කාර්යාල ස්ථානයේ රැදී සිටීමනම් කොහෙත්ම කල නොහැක්කක් බව මේ වන විටත් ඔහුගේ චිත්තය තීරණය කොට හමාරය.

වෙව්ලමින් ගැස්සෙමින් තව දුරටත් මේ පුටුවේනම් වාඩිවී සිටිය නොහැකිය.අදුම තරමේ half day එකක්වත් දාගන්නෝනි මැනේජර් ගාවට ගිහින්.ඒත් කොහොමද අප්පා විලිලැජ්ජාවක් නැතුව ඔය ගෑණිට ඕක කියන්නෙ..

ඔලුවේ අත ගසාගෙන හුන් ඔහු යන්තමින් මදක් වෙව්ලා පිටවීමට ගිය වාතය හිරකරගත්තේය.

ඊළඟට ඔහු දකින්නට ලැබුනේ වීදුරු වලින් වට කොට ඇති මැනේජර්ගේ කාර්යාලය තුළය..

පිටින් බැලූ විට පෙනුනේ ඔහු පණුවෙක් මෙන් ඇඹරෙමින් හිස කසන බවය.

නමුත් ඇත්තටම සිදුවූයේ මැනේජර් විසින් කරණු ලැබූ දෝශාරෝපණයන් රැසක් සමඟ ඔහුට half day එකක් ලැබීමය.

කළමනා ටික අකුලාගත් ඔහු වහ වහා ඔෆීසියෙන් පිටවූයේ හැකිතාක් ඉක්මනට නිවස බලා යාමටය..

ඒ අතරවාරයේ ඊයේ රාත්‍රී ආහාර ගත් සයිවර් කඩේ උන්ගේ ඤාතී පරම්පරාවටම පින් පෙත් පුදකිරීමටද අමතක නොකල ඔහු පැමිනි ප්‍රථම බසයටම ගොඩවිනි.

සෙනග අඩු බසට සිසාරා බැල්මක් හෙලූ ඔහුට දක්නට ලැබුනේ පාසල් නිල ඇඳුමින් සැරසී හුන් පිරිකරු යුවතියන් කිහිප දෙනෙක් පිටිපස්සෙම සීට් එකේ සිටින බවය.දෙවරක් නොසිතා ඔහු ඊට ඉදිරිපස අසුනේ හිඳගත්තේ ඒ වනවිට බඩේ අමාරුව පිළිබඳව වගක්වත් සිහියට නොනැගීම නිසාමය.

බඩ කොරවීගෙන පිටවීමට ආ වාතයක් ඔහුගේ සිතුවිලි දැහැන සසල කරවීය.ඒ මේ අත ඇඹරුනු ඔහු ඉතා සෙමින් හඬ නොනැගෙන සේ වාතය්ක් පිටකරේය.

හප්පා ගඳ… මුකුත් නොදන්නා විලාසෙන් වීදුරුව ඉදිපස කෙලවරටම තල්ලු කර දැමූ ඔහු හමා ආ හුළඟින් පපුව පුරවා ගත්තේය.

අලි මදිවාට හරක් කීවාලු.ඒ සමඟම හදිසියේම ඔහුටත් නොදැනීම අධෝ වාතයක් පිටවූයේ මහා සද්දයක්ද සමඟයි…

බ්බ්බ්බ්‍රරාස්ස්….

සියල්ලම සිදුවූයේ නිමේශයකිනි.හාත්පස කිංකිණි රාවයක් පැතිර ගියේ පාසල් සිසුවියන්ගේ ප්‍රථිචාරයක් ලෙසිනි.

එකෙනිහිම පහල වූ කපටි සිතුවිල්ලට ප්‍රථිචාරයක් වශයෙන් කටින් විවිද ශබ්ද අනුකරනයන් කිරීමට ඔහු පෙලඹුනේ පෙර නැගුනු ශබ්ධය හුදු මුවින් නැගුනු ශබ්ධයක් බව අනෙකුන්ට පසක් කරවීමටය.

මෙලෙස විනාඩි කිහිපයක්ම ඔහුගේ රඟපෑම දැක්වූ ඔහු නිහඬ වූවා පමණි බසයෙන් බැසීමට බෙල් එක නාද කල යුවතියන් අතර සිටි එක් කටකාර යුවතියක්.

අයියෙ කටින් දාන සද්ද ඔක්කොම හොඳයි හැබැයි එකක්වත් අර පඩේ තරම් ගතියට ආවෙ නෑ

පවසා බසයෙන් බැස නොපෙනී ගියාය.

—————————————————————————————-

නම අමතක එක් ප්‍රසිද්ධ කලා කාරයකුට සිදුවූ සත්‍ය සිදුවූමක් මසිත පහළ වූ ආකාරය මෙසේය..

ප.ලි:- පොඩි අලුත් වැඩකුත් පටන්ගත්තා.php ඉගෙනගන්න ආසා කට්ටියට මුල ඉඳලම කියලා දෙන්න.කැමති අය ඉන්නවනම් පොඩ්ඩක් ඔළුව දාල බලලා යන්න..
php සිංහලෙන්

පිංතූර හම්බුනේ…

fart-sounds.net
smosh.com