Archive for June, 2012

රසික හවුල කියන්නෙ හොස්ටල් එකේ උන්න ලොකු පොඩි ඕනි කෙනෙක්ට තමන්ගෙ කලා හැකියාව පෙන්නන තිබුනු තෝතැන්නක්.ස්කෝලෙ පන්ති මට්ටමින් කෙරෙන සමිතියේ තිබුන මූණුවරම තමා මේකෙත් තිබුනේ.

හැබැයි හොස්ටල් එකේ ඉන්න හැමෝගෙම සහභාගීත්වය අනිවාර්ය නිසා සෑහෙන්න පිරිසක් රසික හවුල බලන්න සෙට් වෙනවා.

මේ කියන්න යන සිද්ධිය වුනේ රම්බා 6 වසරෙ ඉන්නකොට..

ඔන්න හා හා පුරා කියලා රම්බත් ලෑස්ති වුනා ඊළඟ රසික හවුලෙ අංගයකට සහභාගී වෙන්න. ආයෙ ඉතින් උපතින් ගෙනාපු මෙලෝ කලා හැකියාවක් නැති මට සහභාගී වෙන්න තිබුන එකම අංගය සින්දුවක් ගායනා කිරීම තමයි.

මේ දවස්වල තමයි ඔය ප්‍රියා හොඳටම හිට් වෙලා වුන්නු කාලේ.ප්‍රියා කීවෙ බොලව් ප්‍රියා සූරියසේන ආයෙ අහවල් එකක් නෙවී හරිය…

රම්බගෙත් ඉතින් තියෙන කුපාඩි කමට පොඩි එකා වුනාට මොකද තෝරගත්තෙ “හදවත ඉල්ලා” සිංදුව.

ඔන්න හැමෝම පුල පුලා බලා සිටි ඒ සුන්දර දවස උදාවුනා.රසික හවුලත් සුපුරුදු විදියටම ගලාගෙන ගියා…

ඔන්න මගෙ වාරෙ ආවා…

මීළඟට 6 වසරෙන් රම්බා………..

මම ගියා කස්ටිය ඉස්සරහට.

සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි.

කමින්ග් කෑල්ලත් ඔන්න ඔහොම කියලා දැම්මා..

“හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී”

ඩෙනිම් එකේ සාක්කු දෙකට අත් දෙකත් ඔබාන කොල්ලා ෆුල් ආතල් එකේ කියාගෙන යනවා.

මට දැන් පේනවා ඉස්සරහම ඉන්න අපේ කස්ටිය එක එක හස්ත මුද්‍රා පෙන්නනවා.මමත් ඔලුවෙන් මොනාද මොනාද අහන ගමන් පැද්දි පැද්දි සිංදුව කියනවා..

ඔහොම කියාගෙන යනකොට මට පේනවා කස්ටිය හිනාවෙනවා කොහෙද මම සැලෙයිද ඕවට මම දිගටම සින්දුවේ.

අපේ වුන්ගෙ කටවල් ඇඳ වෙලා හස්ත මුද්‍රා නැවතිලා නිකන් අළු කෙහෙල් කාපු උඟුඩුවෝ වගේ වෙලා උන්ට..

කොහොමින් කොහොම හරි ඔහොම මම සින්දුව කියලා ගිහින් වාඩි වුනා කියමුකෝ.අපේ උන් බනිනවා පිස්සුද යකෝ තොට ඔහොම නට නට සින්දු කියන්න.විලිලැජ්ජාවයි යකෝ කිය කිය.

මම තක්බීර්..පිස්සුද බන් මම කොහෙද නැටුවෙ අර පොඩ්ඩක් ඉතින් දන්නැද්ද සීන් එකට කියලා කිව්වා..

රසික හවුල අවසානේ තියෙනවා ගුරු දේශණයක්.

එදා මාතෘකාව ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..

තමන්ගෙ වයසට ගැලපෙන සින්දු තෝරගන්න ඕනි ළමයි.මෙතන ළමයින්ගෙ දක්ෂතා පෙන්නන තියෙන තැනක් මිසක් කෝළම් මඩුවක් නොවේ… එකී නොකී මේකී දොස් පරොස් පමණක් සහ රම්භාගේ නැටුමට සහ සිංදුවට හිමි රසික ජනතාවගේ සමච්චලයත් සමඟින් රම්බාගේ ප්‍රථම හොස්ටල් කරළිය ඉවරවුනා..

මෙන්න මෙහෙම කිසිම හාවක් හූවක් නැතුව ටික දවසක් ගෙවිලා ගියා..

දවසක් රෑක රම්බා පාඩම් කරන්න යනකොට කව්දෝ කථාකරා.

ඕයි මෙහෙ එනවා මෙහෙ එනවා.

බැලින්නම් මේ පුස්ථකාලෙ පාඩම් කරන 11 වසරෙ අයියලා සෙට් එකක්.

මාත් ගියා පුස්ථකාලෙට.

හා කියනවා බලන්න සින්දුවක්.අර එදා කියපු එක කියනවා..

රම්බට දැන් නිකන් මොකක්ද වගේ.කොහෙදෝ මන්ද තිබ්බ ලැජ්ජාවත් ටිකක් ඇඟට ආවා වගේ.

අනේ අයියේ…

අනේ හුනේ ගාන්නැතුව කියපිය යකෝ..

බයවුන රම්බා ඔන්න සින්දුව දිග ඇරියා…

“හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී”

කෝ කෝ නටපිය එදා වගේ.නටපිය..

රම්බාත් ඉතින් ඔන්න නට නට සින්දුව කීවා..

කියලා ඉවරවෙලා අහිංසක බැල්මෙන් අයියලා දෙහා බැලුවා මුන්ට අනුකම්පා හිතිලවත් මට යන්න දෙයිද කියලා..

තමුසෙට පිස්සුද ඕයි මේ මහ රෑ පුස්ථකාලෙට ඇවිල්ලා පාඩම් කරන වුන්ට පාඩම් කරගන්න නොදී සිංදු කියන්නෙ.දුවපිය යන්න මෙතනින්…

රවාගෙන බලාගෙන උන්නු එකෙක් කෑ ගැහුවා.

උගෙ @!$#%^@$@#

ප.ලි : රම්බා කරළියට තවත් කොටසකින් හම්බෙමු.