රතු පැහැ ගැන්වුන ලොඹු කටින් බුලත් කෙළ තලියක් විද්ද අප්පුහාමි මාමා පිල්කඩේ යහමින් හරි බරි ගැහුනේ බීමතින් සිටි අපි දෙස ඔච්චම් බැල්මක් හෙලමිනි.

මයෙ හිතේ අක්කුං ළමයගෙ සීයා ඉන්න කාලෙද කොහෙද ඔය කියන සංතෑසිය වුනේ.එතකොට අපි උඹලටත් වඩා පුංචි එවුන්.

බීමත්ව සිටි කස්ටියම මහ හඩින් කොක් හඬලා හිනාවූයේ මදෙස බලාය.

මට ගම් තුලානේ ඈයෝ අමතන්නේ අක්කුං කියාය.නෑදෑ කමට අක්කුං අයියා , මල්ලී,පුතා වැනි විවිධාකාර නම් තිබුනත් ඔය කොයි එකටත් මුලට අක්කුං කෑල්ල ඈදී තිබුනේය.හිච්චි එකා කාලේනම් ඔය කොයිකත් ගාණක් නොවුන නමුත් ස්කෝලේ යනකොට කෙල්ලො අක්කුං යැයි කීම නිසාම ඒ නමට නොදැනීම වෛරයක් ඇතිවිය.

ඒ කාලේ ඔය නම කියන ඕනෑම කෙනෙක් සමඟ සණ්ඩුවට යන හැටි මතක් වුන මටත් හීන් හිනාවක් ගියේය.

ඒ ඇත්තිගෙ නම කුමාරි.

පැල් කොටේ තිබ්බේ පන්නල කන්ද මුදුනෙම වගේ.හරි සීදේවි කෙල්ල ඒ කාලෙ වෙනකොට.උඹලට කියන්න එහෙව් රූප සම්පත්තියක් තියෙන එකියක් මේ අවුරුදු 70 ගාණටම මම තාම දැකල නෑ බොලව්.මගෙ අම්මපල්ලා.

අපේ ගම් තුලානේ අද ඊයේ උපන් පොඩි එකා පවා දන්නා කථාව ඒ කාලෙ ජීවත්වුන වැඩිහිටියන් අනන්තවත් කියනවා මා විසින්නම් අසා ඇත.මේ බේබදු රෑනත් ඉහේ කෙස් ගාණට ඔය කථාව අසා ඇති බව ඉත්තේරුවෙන්ම කියතහැකිය.

නමුත් මේ ඇඳිරි වැටීගෙන එහ හැන්දෑවේ අප්පුහාමි මාමාගේ ගැඹුරු කටහඩින් මේ කථාව අහන්නට හැමෝම කටවල් අයාගෙන බලා සිටී.

ලස්සන විතරක්ම නෙවී බොලව් ඒකිගෙ අප්පොච්චට කුඹුරු වැඩවලට හරි හරියට උදව් කරෙත් ඒකි තමයි.හොදට හයි හත්තිය ඇති ගෑණු ඒ කාලෙ හිටියෙ.මේ අද වගේ සීනිබෝල එවුන් නෙවී.

දුප්පත් වුනාට ඒකිගෙ හෙන රාජ ඌෂ්ණයක් තිබ්බෙ ඒ කාලෙ.පාර තොටකදිවත් මිනිහෙක් එක්ක වැඩි හිනාවක් කථාවක් නෑ.උන්දැගෙ අම්මණ්ඩි රාජ පෙළපතින්ලු එන්නෙ.අඩු කුලේ එකෙක් වුන සිමියොං එක්ක පැනල ඇවිල්ලනොවැ ඔය පැල අටවන් උන්නෙ.හැබැයි වැඩි දොහක් උන්න කියානම් ආරංචියක් නෑ.අපි පුංචි සංදියේවත් උන්දැව දැකල තිබුන්නෑ.

ඒ කාලෙ මේ අහල ගං හතකම පිරිමි ඕකිට ඇහැ ගහගෙන උන්නේ.අපිත් හිච්චි කමට ඒකි ගැනමයි කතාබස් කොරෙත්.

හෙක් හෙක් හෙක් කියා ලොඹු කටින් සිනාසුන අප්පුහාමි මාමාගේ මුවින් ගිලිහුනු රතු කෙල බිංඳුවක් උන්දෑගේ පපුව දිගේ ගලා බැස්සේය.

ඈ සිහිවුන නිසාවෙන්ද කොහෙදෝ දිලිසෙන්නට ගත් අප්පුහාමි මාමාගේ ඇස් කෙවෙනි තුළ සැඟවී තිබුන වේදනාවත් තේරුම් ගත හැකි වූයේ මා ඒ දෙසම බලාගෙන වුන් නිසාවෙනි..

ඒත් බොලව් ඒකි ඔය එක කොල්ලෙක්වත් පිච්චියකටවත් මායිම් කොරේ නෑ.කොල්ලො කී දෙනෙක්නම් පොර බඳින්න ඇත්ද ඕකිට.ඇරපු අතක් නෑ රාජ කුමාරියක් වගේම තමා බොලව්.එහෙව් එකියක් දකින්න පින් කොරන්න ඕනි බොලව් පින් කොරන්නෝනි.

උඹලට කියන්න ඉර බහින හැන්දෑ ජාමෙට පාඬහැල දිය ඇල්ල මුදුනේ ඒකි නාන්න එනවා මහ උන්දැ එක්ක.ඒ වෙලාවට ඒකි කියන සිංදුවල තිබුනේ පුදුමාකාර ලස්සනක් බොලව්.

ආයේ රූප සම්පත්තිය වගේම තමා කටහඩත්.. අපි ඒ කාලෙ පාඬහැල ඇල්ල පාමුලට වෙලා ඔය සිංදු අහනවා බොලල්ලා..

මේ කාලෙ තමා ඔය කථාවට සම්බන්ධ වෙච්ච අනිත් මිනිහා ආවේ.ඒ යකා කොහෙන් පාත්වුන එකෙක්ද මන්දා පාඬහැල මුදුනෙම පැලක් අටවගත්තා උන්දැත්.

හැබැයි පුතෝ අන්න පිරිමි.ගමේ තියෙන ඕනිම වැඩකටයුත්තකට මුල් වෙලා කටයුතු කරේ උන්දෑ තමා.ඔය පාඬහැල ඇල්ල මුදුනෙ තියෙන අමුණ ඔතන හඳනත් උන්දෑම තමා පෙරමුණ ගත්තෙ උඹලට කියන්න.එතනින් පස්සෙ තමා බොලව් ඔය පේන වෙල් යායම සරුවට අස්වද්දන්න ගත්තෙ.

ඕනෑම දේකට කැපිලා පේන්න තරම් උන්දැට පුදුම බලයක් තිබ්බා.හැමදේම හරියට උන්දෑ දෙහාට හොයාගෙන එනවා වගේ බොලව්.මාත් ඉස්සර යනවා ඒ කාලෙ උන්දෑ වපුරපු වෙල් යායට.

උන්දැගේ අතෙ නිතරම තිබ්බ බටනලාවක්.ආයෙ ඒක පිබිනකොට අපි අහන් උන්නෙ ඇස් පියන්..

හෙ හෙ ගමේ ගැටිස්සියෝ හිටියෙ ඌට පණ ඇරලා.

ඒ වුනාට මොන කරුමයකටද මන්ද වෙන්න තිබුන නරකම විදිහට හැමදේම උනා බොලව්..

අප්පුහාමි මාමාගේ කටහඩ වෙව්ලීමක ලක්වූයේ කථාවේ ඉදිරිය ගැන අපේ හිත්වල කුතුහලයක් දනවමිනි.

හෙ හෙ කොපමණ අසා තිබුනත් මේ කථාව ඒ හැම මොහොතකම පුදුමාකාර හැඟීමක් හිතේ ඇති කරන්නේ මන්ද යන්න මට අදටත් හිතා ගත නොහැකිය.

මුන්දැට හිත ගියෙත් කුමාරිටම නොවැ.ඒ කාලෙ ගම් තුලානෙ හැම තැනමත් කථා බහ කෙරුවෙ මුන් දෙන්න ගැනමයි.

ආයෙ තකට තක ඇරපු අතක් නෑ දෙන්නම දෙන්නට මවලා වගේ, හැමෝම හිතුවෙ එහෙමයි.

ඒත් කුමාරි නෙවේ මේකට කැමතිවුනේ.

ඒකිට ආයෙ තව මුන්දැට වඩා ඉහල එකෙක්ද?රාජ කුමාරයෙක්ම හොයගන්න වෙන්ඩැ හිතන් ඉන්න ඇත්තෙ.

කොහොමින් කොහොම හරි කාටත් හොරෙන්ම හැම දේම සිද්ධ වෙලා තිබ්බා.

ගමම දැනගත්තේ මහ රෑ කළුවරේ කුමාරිගෙ අප්පොච්චා බෙරිහන් දෙනකොටලු..

ඔය පන්නල කන්ද මුදුනෙ මහ ලොකු සෙනඟක් පදිංචි වෙලා උන්නු කාලයක් නෙවී බොලව් එතකොට ඔය දැන් වගේ.

මයෙ හිතේ පවුල් තුනක් නැත්නම් හතරක් ඉන්නැති.

උන් ඔක්කොම දුවලා තියෙනවා කෑ ගැහිල්ලට මහ හද්දා කළුවරේම.

යනකොට කුමාරිගේ පැල් කොටේ ලේ එකයිලු.කුමාරියි අලුතෙන් ගමට ආපු හාඳයයි එකෙකුට එකෙක් මරාගෙන.

කුමාරිගෙ අප්පුච්චා කියලා තිබ්බේ රෑ කළුවරේ ආපු මුන්දෑ තමනුත් එක්ක කථාබහ කොරල කුමාරිව බලන්න කියලා පැල් කොටේට රිංගලා.

ඒ ගිහිල්ලා තියෙන්නේ තමන්ට අකමැති වුන කුමාරිව අවසන් ගමන් යවන්න හිතාගෙනමයි බොලව්

මං තොපිට කිව්වෙ බොලව් එහෙව් යක්ෂ ගෑණු දැන් කාලෙ නෑ කියලා තමන්ට ඇනපු උල් පිහිට ඇදල ගත්ත ඒකි ඒකෙන් අරූටත් සබ්බුව දීලා.දෙන්නම එකා උඩ එකා මැරිල වැටිල ඉදලා තියෙන්නෙ.

ඔය අක්කුං ළමයගෙ ගෙදරට යන පාරෙ තියෙන නාන ගල්වල දන්නවනොවැ.කුමාරිගෙ අප්පුච්චා හම්බුනේ එතනින් උන්නැහේ බෙල්ලෙ වැල දාගෙන මැරිලා තියෙනවා පහුවදාම.

ඒක සිහිවෙන්න තමා බොලව් ඔය දැන් තියෙන දේවාලෙ හදලා තියෙන්නෙ ඊට එපිටහින්.

කථාවේ අවසානයත් එළෙසින් සනිටුහන් කර අප්පුහාමි මාම කළ ගෙඩියෙන් පොල්කටුවකට නවාගත් වතුරෙන් කට සෝදා අමුවෙන්ම වක්කරගත් ගල් වීදුරුවක් ඇද මහා සුසුමක් හෙලුවේය.

එහෙනම් මං ගොහින් එන්නං බොලව්.සුනංගු නොවී ගෙදර පලයන් අක්කුං ළමයා ගල්වලත් පහුකොරන් යන්න එපායෑ.




මෙන්න මෙතනනොවැ ඔය පිංතූර තිබ්බෙ
uq.edu.au
listal.com

Advertisements
Comments
  1. අක්කුං ළමයා ගල්වල ගාවින් යද්දි බය වෙනව දැන්.. 🙂

  2. මාර සීන් එකක් නේ ..මේ ඇත්ත කථාවක් නේද අක්කුං….

  3. අද ඉතින් අක්කුං පුතාට නූලක් බඳින්න වෙයි මහිතේ.
    ඕක දන්න හන්දමද කොහෙද අප්පුහාමි සීයා (අපේ සීයෑ නමත් අප්පුහාමි) ඔය කතාව කියලා ගිහින් තියෙන්නේ. හික්ස් 🙂

  4. Observer says:

    අමුතුම විදියෙ කතාවක්. ඇත්තම සිද්ධියක් වෙන්නැති නේද?

    • ආයෙත් අහල.{අතිනුත් ටිකක් දැම්ම :-)}.හැබැයි අර බෙල්ලෙ වැල දාගෙන එල්ලුන මිනිහගෙ මළමිනිය හම්බුන හැටි කථාව කීවෙ නෑ.ආයෙ මොකටද මේක හොල්මන් කථාවක් කරන්නෙ.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s